අපි අපේමයි ආදරී

nadee ලියපු තවත් කතාවක්

" ඔයා ලස්සනයි ! අහිංසකයි ! "

සදෙව් එහෙම කියද්දි මගේ මූණ ලැජ්ජාවෙන් පිරුණා. තමන් හිතින් ආදරේ කරන කෙනාගෙන් ඔහොම අහන්න කෝයි කෙල්ලද අකමැති. ඒත් සදෙව් දන්නෑ මං එයාට ආදරෙයි කියලා.

" නිශිකා දැන්වත් හැදෙනවා හිමාරා වගේ "

නිශිකා කියන්නේ සදෙව්ගේ ආදරේ, සදෙව් කියන්නේ මගේ ආදරේ. ඒත් නිශිකා දන්නෑ මං සදෙව්ට ආදරෙයි කියලා. නිශිකා කියන්නේ පන්තියේ ලස්සනම ළමයා. හිමාරා කියන්නේ පන්තියේ කැතම අපිලිවෙලම ළමයා.

" දිගට දිගේ යුනිෆෝම් එක ඇදලා පොල් තෙල් නාලා උකුණෝ වහන් එන හිමාරද ඔයාට ලස්සන "

නෝන්ඩියට සදෙව්ගෙන් නිශිකා ඇහුව්වා. මං දිව්වා දුවන් ගිහින් නතර උනේ ඉස්කෝලේ ටොයිලට් එකේ. ඒකේ ගහලා තිබුන පුංචි කණ්ණාඩියට මං එබුනා. නිශිකා කීවා හැමදේම ඇත්ත. පොල් තෙල් බේරෙන කොණ්ඩේ, උකුණෝ නලියන ඔළුව, දණිස්සෙනුත් අගල් තුන හතරක් පහලට එල්ලෙන ගවුම, මට මාව එපා කරා.හොදටම රතු උන ඇස් දෙකත් පිහිදන් පන්තියට ගිහින් මගේ පුටුවේ ඉදගත්තා. 

"ඇඬුවද? " 

මගේ ඇස් දිහා බලලා සදෙව් ඇහුව්වා. මං මොකුත්ම කීවේ නෑ. මේ අපේ ඉස්කෝලේ ඒලෙවල් මැත්ස් ක්ලාස් එක. කවුරු මොනවා කීවත් මට හොදටම ඉගෙන ගන්න පුළුවන්. 

" මේ ගාන කියලා දෙනවා "

" මට බෑ "

නිශිකා එක්ක හේතුවක් නැතිව මට තරහා ගියා. මාව කොන් කරන ලැජ්ජා කරන කෙල්ලෙකුට මොකටද මං උදව් කරන්නේ. මං නිහඬව හිටියා.

" උගත් මෝඩ මූසල නපුරි "

එහෙම හයියෙන් කියන ගමන් නිශිකා මගේ ඔළුවට හයියෙන් ටොක්කක් ඇන්නා. අනික් පැත්තට නිශිකාට පාරක් ගහනවා වෙනුවට ඇස් වල පිරුන කඳුළු වහගන්න මං ඩෙස් එකට ඔළුව තිබ්බා.

" නිශිකා දෙයක් අහද්දි මනුස්සකමෙන් අහනවා "

සදෙව් කෑගහනවා මං අහගෙන. හිතට පුංචි සතුටක් දැනුනා.

" හිමාරා රත්තරන් මේ ගාන කියලා දෙන්න වස්තුවේ "

මගේ ගාවට ආපු නිශිකා මාව එහෙම සෙල්ලමකට ගත්තා. තාම ඇහි තටු වල රැදුන කඳුළු කම්මුල් දිගේ ගලන් යද්දි මුළු පන්තියම හිනාවෙද්දි සදෙව් විතරක් ගිණි පිටවෙන ඇස් වලින් බලාගෙන හිටියා.

" නිශිකා නවත්තනවා ඔය නාඩගම. ආයේ හිමාරාට මොනාහරි කිවොත් මං තමුසෙව "

දත් මීටි කන ගමන් සදෙව් කියෙව්වා. නිශිකා පුදුමෙන් බලන් ඉදලා ගස්සන් ගියා. ස්පෝට් මීට් නිසා අපිට හොදටම ඉගැන්නුවේ නෑ. හැමෝම හිටියේ ග්‍රවුන්ඩ් එකේ. මං ක්ලාස් එකේ

" යන් "

" කොහෙද "

" ග්‍රවුන්ඩ් එකට "

" අනේ බෑ "

" මං වෙනුවෙන් "

" ඒත් "

" මං දුවනවා. චියර් කරන් නැද්ද මට "

සදෙව්ට බෑ කියන්නට බැරි තැන මං පුටුවෙන් නැගිට්ටෙමි. මගේ කොණ්ඩ කරල ගැට ගසා තිබු පීත්ත පටිය ගලවා සදෙව් ඔහුගේ මැණික් කටුව ළඟින් බැදගත්තේය.

" ඔයා දිනනවාමයි "

" ඔයා නිසා "

සදෙව් ගියේය. මං පැත්තකට වී තරගය බැලුවෙමි. කීවා සේ පොරොන්දු උනා සේ ඔහු තරගයෙන් දින්නේය. නිශිකා දුවගොස් සදෙව් වැළදගත්තාය. ඒත් සදෙව්ගේ ඇස් තිබුණේ මගේ ළඟය. ඔහු පොල්තෙල් ගද පීත්ත පටිය දෙතෝල් තද කලේය. ඉස්කෝලේ ඉවර උනාම අප්පච්චි වාහනේ අරන් මාව ගන්න ආවා.

" අප්පච්චි "

" සුදු දෝණි "

" මට සුදු ගවුම් තුනක් ඕන "

" පුතාට පෙරේදානේ සුදු ගවුම් ගෙනත් දුන්නේ "

" ඒවා බෑ අප්පච්චි , ඒවා ගොඩාක් දිගයි " 

" අපි මහන ඇන්ටිට කියලා මහගමු පුතේ "

" අපි කඩෙන් ගමු අප්පච්චි, මගේ මේ උකුණෝ අයින් කරන්න ඕන "

" සුදු දෝණි මොකද උනේ "

" ළමයි මට විහිළු කරනවා අප්පච්චි "

ඒක මං කීවේ හුහුල්ලන ගමන්. අප්පච්චි මොකුත් කීවේ නෑ. මගේ ඔළුව අතගෑවා. අප්පච්චි එක්ක සාප්පුවකට ගිහින් සුදු ගවුම් තුනක් ගත්තා. සැලුන් එකට ගිහින් ඔළුවේ උකුණෝ ඔක්කොම අයින් කරා. ගෙදර ඇවිත් නාලා අප්පච්චි අරන් දුන්න කළු පාට බෝල ගවුම මං ඇදලා කොන්ඩේ පිටට කඩලා දැම්මා.

" සුදු නෝනේ මේන් යාළුවෙක් ඇවිත් "

මගේ යාළුවෙක් ! කවුද කියලා හිතෙන් හිත හිත මං පඩිපෙළ දිගේ සාලෙට ආවා. මේ අවුරුදු දහ තුනට හිමාරාට යාළුවෝ හිටියේ නෑ.

" සදෙව් "

" හිමාරා ඔයා මේ "

සදෙව් මගේ අත් දෙකෙන් අල්ලගත්තා. මුළු ඇගම ගැහුනේ සතුටටද මොනාටද කියලා මට තේරුම් ගන්න බැරි උනා. මගේ මූණ සදෙව්ගේ පපුවේ තිබ්බේ කොහොමද කියන්න මං දන්නෑ.

" සුවදයි "

" මොන ? "

" ඕඩික්ලෝන් සුවඳ , පොඩි එකෙක් වගේ "

" ඇයි ආවේ ? "

" ආවේ ඇයි අහන්නේ ? ඉදගන්න කියන්නෙත් නැතිව "

" ඉදගන්න "

" ගාන අහගන්න ආවේ, ඔයාගේ ලස්සන අහිංසකකම දැක්කාම මට හිතාගන්න බැරි උනා "

පහුවදා මං අළුතින් ගත්තා සුදු ගවුම සීරුවට රැළි තියලා මැද්දා. මැණිකේ නැන්දා පොල්තෙල් ගේන්න කලින් දිග කොන්ඩේ ගොතලා පීත්ත පටි බැන්දා. අලුතින් ගත්තා සපත්තු මේස් දැම්මා. කණ්ණාඩියට මං හිනා උනා. අප්පච්චි එක්ක මං ඉස්කෝලේ ගියා.
කවුරුත් එන්න කලින් පන්තියේ කොනේ මගේ ඩෙස් එකේ පැත්තකට වෙලා හිටියා.

" ඒ බං අලුතින් කෑල්ලක් ඇවිත් "

" ටිකක් හිමාරා වගේ නේද ? "

" ඒ හඩු හොල්මනට වඩා මේ ළමයා කොච්චර හොදද. හිටපන් මං කතා කරන්න "

ආවේ නිශිකා කියලා මං දැනන් හිටියා. මගේ ඩෙස් එක ගාවින් හිට ගද්දි මං මූණ ඉස්සුවා.

" ඕ මයි ගෝඩ් "

" නිශිකා මොකෝ බන් "

පන්තියේ ඔක්කොම දුවන් ආවා. හැමෝගෙම කටවල් ඇරුනා.

" හිමාරා "

" ඔව් හිමාරා තමා, උඹලාට ජෙලස්ද ඇයි ? "

" මොන ජෙලද බන් බදාගෙන ඉඹින්න හිතෙනවා "

" ඒ උඹ මගෙන් මැරුම් කන්න රෙහානා "

" මොකක්ද සදෙව් එකේ තේරුම. එතකොට මං "

නිශිකා සදෙව්ගේ අතින් අල්ලගත්තා. මගේ හිත රිදුන්නෑ. සදෙව් හිමින් සැරේ නිශිකාගේ අත අතැර ගත්තා.

" ඔයා මගේ හොඳම යාළුවා නිශිකා "

" එත.... කොට "

" ඔයා මගේ ගැන බලාපොරොත්තු තියාගත්තාට මට ආදරේ කරාට මං මොනාද කරන්නේ නිශිකා. මං ඔයාට බලාපොරොත්තු ඇති වෙන විදියට හැසිරිලා නෑ. ආදරෙයි කියලත් නෑ ඔයාට.ඒත් මං ආදරේ කරේ හිමාරාට. අද නෙවෙයි අර උකුණෝ පෙරාගත්තු හඩු කෙල්ල කාලේ ඉදන්ම. "

සදෙව් මගේ අත ඉම්බා. ඉස්කෝලේ කියලා අමතක කරලා මං ඒ පපුවට හේත්තු උනා.

" උකුණෝ පෙරන් හිටියේ කාලේ නම් බයක් තිබ්බේම නෑ දැනන් හිටියා මගේමයි කියලා. ඒත් උදේ මෙහෙම දකිද්දි බය හිතුනා මට කලින් කවුරුහරි උස්සන් යයි කියලා. ඒකයි ආදරෙයි කීවේ "

සදෙව් කියද්දි මං ලැජ්ජාවෙන් මූණ හංගගත්තා. 


Bukiya.lk කියන්නේ අපි අලුතෙන්ම හදපු ලංකාවටම ගැලපෙන සමාජ ජාලා වෙබ් අඩවියක්. චැට් කරන්න, ප්‍රොෆයිල් එක තමන්ට කැමති විදිහට හදාගන්න වගේම මුනුපොතේ නැති අලුත්ම ගොඩාක් දේවල් අපි මේකේ දීලා තියනවා. තවම මේකේ මෙම්බර් කෙනෙක් වෙලා නැතිනම් ඉක්මනටම රෙජිස්ටර් වෙලා ඉඩක් වෙන් කරගන්න..

මෙතන තියනවා විස්තර 

5177 Views